රුවන්වැල්ල ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු.
පුරාණයේ දී “සතර කෝරළේ” ප්‍රදේශයට අයත් ප්‍රධාන නගරයක් වූ රුවන්වැල්ල නගරය, කැළණි ගඟට ආසන්නව පිහිටා ඇති අතර, අතීතයේදී රට අභ්‍යන්තර ප්‍රදේශ සහ වෙරළාශ්‍රිත ප්‍රදේශ සම්බන්ධ කළ වැදගත් වෙළඳ මාර්ගයක මධ්‍යස්ථානයක් ලෙස යොදා ගත්හ. කැළණි ගඟ ඔස්සේ ගමනාගමනය සහ වෙළඳ කටයුතු සිදු වූ නිසා ආර්ථික වශයෙන් ද රටට ඉතා වැදගත් වූ මෙම ඓහිහාසික නගරය කේන්ද්‍ර කර ගත් වත්මන් රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බලප්‍රදේශය කරවනැල්ල, අඟුරුවැල්ල, කන්නත්තොට, ගලපිටමඩ, ගෝණගල්දෙණිය සහ අමිතිරිගල යන උප නගරවලින් සමන්විතව ඇත. වර්ග කිලෝමීටර 147ක් පුරා විහිදී ඇති රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ග්‍රාම නිළධාරී වසම් 38 කින් යුක්ත වේ. බල ප්‍රදේශය තුළ ජනගහනය දළ වශයෙන් 69653 කි. පළාත් පාලන ආයතනයක් වශයෙන් බලප්‍රදේශයේ ජනතාවට සලසා දිය යුතු පළාත් පාලන සේවාවන් සහ සංවර්ධන කාර්යයන් ඉටුකර දීමට වත්මන් ගරු සභාපති දර්ශන වෛද්‍යරත්න මැතිතුමා ප්‍රමුඛ මන්ත්‍රී මණ්ඩලයත්, ලේකම් රසාංගික පතිරණ මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලයත් නොපිරිහෙලා කටයුතු කරයි.
සභාපතිතුමාගේ පණිවිඩය
දිනෙන් දින සිදුවන ගෝලීයකරණය සමඟ ඇති වන තාක්ෂණික දියුණුවත් සමඟ ජනතාවට කාලෝචිත සේවා ලබාදීම අපගේ ප්‍රමුඛ වගකීමයි. රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව ලෙස, ප්‍රජා අවශ්‍යතා සොයාගෙන ඒවාට ඉක්මනින් හා කාර්යක්ෂම විසඳුම් ලබාදීම අපේ මූලික අරමුණකි. මෙම වෙබ් අඩවිය තුළින් ඔබට අපගේ සේවාවන්, සභා තොරතුරු, ලේඛන සහ සභාවේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු පහසුවෙන් සොයාගත හැක. කෙටියෙන් පවසන්නේ නම් මෙම වෙබ් අඩවිය ජනතාව හා රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව අතර සෘජු, විනිවිදභාවයෙන් යුතු සන්නිවේදන මංතීරුවක් වන අතර, ඒ හරහා කාලය හා අතිරේක වියදම් අවම කරගෙන වැඩි සේවාවක් සැලසීම මේ හරහා අපි අරමුණු කර ගන්නෙමු. අපි ඔබ සමඟ එක්ව, රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙහි අනාගතය තවදුරටත් සවිබල ගන්වා, සියළු ජනතාවට ප්‍රයෝජනවත් සේවාවක් සැපයීමට කැපවී සිටින්නෙමු. ඔබේ සහයෝගය හා අපගේ කැපවීම සමඟ, රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වඩාත් සමෘද්ධිමත් අනාගතයකට ගමන් කරන බව අපගේ විශ්වාසයයි.
ඩබ්.එච්.එම්.පී.ඩී. වෛද්‍යරත්න
සභාපති,
රුවන්වැල්ල ප්‍රාදේශීය සභාව.
ලේකම්තුමාගේ පණිවිඩය
වර්ග කිලෝමීටර 147 ක් ග්‍රාම නිළධාරී වසම් 38 ක් ද ජනගහනය 71324 ක් පමණ ද වන රුවන්වැල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වෙනුවෙන් පළාත් පාලන ආයතනික සේවාවන් සපයා දීමත්, එම සේවාවන් වඩාත් උසස් සහ ප්‍රශස්ත මට්ටමෙන් පවත්වා ගැනීමත් අපගේ අභිලාෂය සහ කාර්යභාරය වේ. පොදු පරිපාලන කටයුතු, සෞඛ්‍ය සේවා, පොදු මංමාවත් සහ භෞතික සැලසුම්, මහජන උපයෝගීතා සේවා, සුභසාධක සේවා ආදී වශයෙන් ප්‍රධාන වැඩසටහන් පහක් ඔස්සේ බල ප්‍රදේශයේ ජනතාවට, ඔවුන් බලාපොරොත්තු වන සේවාවන් අපි ලබා දෙන්නෙමු .සාමාන්‍ය ව්‍යවහාරයේදී කියැවෙන “උපතේ සිට මරණය දක්වා මිනිසකුට අවශ්‍යවන සේවාවන් පළාත් පාලන ආයතනයක් මඟින් සැපයේ” යන කියමන මෙහිලා සටහන් තැබීම වටී. මාතෘ හා ළමා සායන, පෙර පාසල්, පුස්තකාල සේවා, ආයුර්වේද සේවා, මහජන සෞඛ්‍ය සනීපාරක්ෂක සේවා, ක්‍රිඩාංගන, පොදු වෙළඳපළ, සතිපොළ, ප්‍රජා ජල සැපයුම් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ සේවා, මාර්ග නඩත්තු සේවා, විථි පහන්, සුසාන භුමි සහ ආදාහනාගාර ආදී වශයෙන් පළාත් පාලන ආයතනයකින් ඉටුවන කාර්යයන් හා සේවාවන් රැසකි. රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ මෙම නිල වෙබ් අඩවිය නිර්මාණය වන්නේ අප ආයතනය විසින් සපයා දෙන සේවාවන් ජනතාවට වඩාත් පහසුවෙන් සමීප කරවීමේ අරමුණිනි. රජයේ ඩිජිටල්කරණ වැඩපිළිවෙලට අනුගත වෙමින් අනාගත ලෝකයට ඔබින පරිදි ඩිජිටල් තාක්ෂණය හරහා අපගේ සේවා සැපයීම වැඩිදියුණු කිරීම අපගේ බලාපොරොත්තුවයි.
රාජ්‍ය ආයතනයක් සහ රජයේ නිළධාරීන් වශයෙන් අප ද අපගේ සේවාලාභීන් වන මහජනතාව ද එක ලෙස තෘප්තිමත්වන වඩාත් ඵලදායී හා කාර්යක්ෂම පළාත් පාලන සේවාවන් තුළින් ආයතනික අරමුණ සපුරා ගැනීමටද, ප්‍රදේශයේ දියුණුව ඇති කිරීමට ද රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවේ අපි උපරිමයෙන් කැප වන්නෙමු. ඒ සඳහා ඔබගේ සහයෝගය ලබා දෙමින් අප සමඟ එක්වන ලෙස ආරාධනා කරමු.
පී.රසාංගික පතිරණ
ලේකම්
රුවන්වැල්ල ප්‍රාදේශිය සභාව
